Thursday, April 8, 2021

158. මට යන්න හිතයි මියැදී...










මල් යාය පුරා දම් පාට වෙලා
මල් වැස්ස තාම පවතී
මඳ සුළඟ වැදී මල් වැටෙන හැටී
ඔහෙ බලා ඉඳිමි නැවතී...

ඒ මලට හොරා මල් සුවඳ නෙලා
ජීවිතේ අරන් මිහිරී
හීනයක් වෙලා ඔබ ආව එදා
මතකයන් පමණි ඉතිරී...

ළඟ කඳුළු තියා ඔබ ඇයගෙ වෙලා
දුර යන්න ගියා සැඟවී 
සිත ලඟට සදා දුක තුරුළු වෙලා
මට යන්න හිතයි මියැදී...

Wednesday, April 7, 2021

157. නැතිව ගිය හිත ආයෙ ඒවිද












ඔහු අරන් ගිය මගේ හිත මට දෙන්න ආපහු ගෙනත්
මග බලන් ඉමි සමනලුනි ඔබ එන්න ආපහු හෙටත්
කටු ඇනෙන්නට කලින් තටුවල දී රිදුම් දුක මහත්
හරි පරිස්සම් විය යුතුයි එහෙමයි උනේ මේ මටත් 

අපෙ තමයි මේ ලෝකයම පැතුවාට සතුටින් හෙටක්
දුක තමයි උරුමය ලැබේ සුසුමක් රැගත් මහ බරක්
මගෙ කියාගෙන ලඟට ගත් බොහොමයක් දේ සිහිනයක්
ලෙස දැනේ යන විට බිඳී හිත ගෙන දෙමින් තනිකමක්

පිබිද සිහිනෙන් පියවි ලෝකෙට එද්දී රෝගී හිතක් 
ඔබද ඇතුළුව මග හැරී ගිය සැවොම මට මහ මෙරක්
පුරුදු සුවඳම දැනෙන විට දැක මලක් මත ඔබ රුවක්
නැතිව ගිය හිත ඒවි ආපහු වෙලා මං ගැන මතක්.

Thursday, January 21, 2021

151. වෙන්වුනත් අපි














මීදුමේ දියවී හිමින් බැස යන සිසිල් සියුමැලි සඳයි 
සීතලේ වැතිරෙන බිමේ රළු සුවඳ සේපාලික මලයි 
ප්‍රේමයේ ඉසියුම් සුසුම් ගෙන හමන සුදුමුදු මදනලයි
මා ඔබේ කියමින් මගේ හිත ඔබම වෙත අලවා තබයි 

ගාවමින් සොම්නස අනන්තෙට සිනාවන් ඉතිරුණු දවස් 
ගාටමින් අලසව ගෙවී ගිය ප්‍රීතිමත් වරුවල හවස් 
කාටවත් නොකියා අපේ වී අපේ හිත සැඟවුන රහස් 
ආදරෙන් අමතයි සිතුම් පොදි නවත්වා කරමින් හරස් 

බාර ගත් දිග ගමන ගොස් නිමවන්නටම ඕනෑ වට 
මාවතක් ගානේ යමින් ගෙන බැරි බරක් පොඩි හිසකට 
පීරමින් හෙව්වත් දුකින් ඇස් විහිදමින් උස් අහසට 
පාර කීමට තාරකාවක් හිටියෙ නෑ ඔබ හැර ට 

තුන්යාමේ ළඟ හිඳින ඔබ ගැන හැඟුම් ගෙන සෙනෙහෙන් වඩා 
පන්හිදේ අමුණමි පැතුම් නෙත් අගිස්සෙන් නොවැටෙන හඬා 
තුන්හිතේ කිසිවෙකු කෙරේ නෑ අමුත්තක් බිඳකුදු කුඩා 
වෙන්වුනේ අපි, බැඳෙන්නයි ආදරෙන් වෙනදාටත් වඩා.


Thursday, December 17, 2020

150. ටැංකිව් LPL











හමන සුළඟට වැඩිය වේගෙන් දහසයක් දින ගත වුනා
හවස හනිකට ඉවර කර වැඩ වසන්තම් වෙත යොමු උනා
හයට හතරට විකට් අතරට වෙහෙස සිත ගත දිය වුනා
බොහොම ටැංකිව් දුන් විනෝදෙට කොරෝනත් අමතක උනා 

ගාලු කොටුවෙන් බැහැල එළියට විසුනු කර දුටු හීනය
වාඩ මචනුත් එක්ක යාපනෙ ගියා නොවැ කුසලානය
වාලු කතරෙහි වාඩි වුන හිත නොදැක කාසියෙ වාසිය
පාලු මකමින් ඇහේ තාමත් අස්සයන් ගිය වේගය 

හිතේ කහටක් කොහෙද ලැබු ජය උපරිමයි මැනැවින් සිතා
නැගේ කිතුගොස තවම එක ලෙස පෙන්වමින් කිරුලෙහි ලතා
අගේ දැක මිනිසත් කමේ උණු වුන හිතින් බිඳුවක් සිතා
අනේ අර රනවුට් එකත් යලි දුන්න නම් ඉහළයි ඉතා 

බැරි උනත් සැනසෙන්න ජය ගෙන හීන කුසලානය දිනන්
හැකි වුනා දෙක වෙන්න පිටියෙහි පැමිණිලා බිංදුවෙ ඉඳන්
නැගිටලා වැටි වැටි උනත් සිත සුසුම දුක අමතක කරන්
සුපිපුනා දහසක් කුසුම් G G ගෙ ආගමනය බලන් 

අමුණමින් ඇහැරුණු සිතුම් එක එක හෙමින් කවි අතරෙහී
සඟවමින් ගිලිහුණු පැතුම් බිම වැටුණු උල්කා පතුලෙහී
නිමවමින් එල් පී එලුත් සමුගෙන දුරස් වන මොහොතෙහී
සැනසෙමින් ඉමි නිවෙන දිලිසෙන මතක මං පෙත අතරෙහී.

Wednesday, December 16, 2020

149. ජයෙන් ජය වේවා අද...















ගියද පසු බැස විටෙක නොසිතුව විලස රිදි සිත තද කරන්
නොමද තෙද ඔද වැඩුනෙ දින දින පිටියෙ අණසක පතුරුවන්
සැරද නම සිරි දකුණු ලක කිතු ගොසට අබිමන් එක් කරන්
නොවැද යුද ජය ලැබෙන තුරු යලි හැරුනෙ කවදද සිංහයන්

නොදා අහකට උගත් පාඩම් දවා පැරදුම් චිතකය
බදා එකමුතුකමින් නෙලුවොත් ඵලය ජය අප අතරය 
සදා නොමැකී තියෙන එක වගෙ හිතේ D G මතකය
එදා බැරි උන නමුත් අද හැකි පහු කරන්නට ශතකය

දිදුල සඳකැන් මැද තුශාරය පිපුණු හිත් සැණෙකින් බිඳී
නොකළ කිසිවක් වෙද ධනංජය පිටිය මැද සටනෙහි රැඳී 
නිසල වන පමණටම ගැඹුරයි ගඟෙහි දිය නිහඬව හිඳී
සසල සිතුවිලි නිහඬ රෑ යම ගෙවෙන තුරු හිත පිරිමදී 

අතට අත දී හිතට හිත දී එළඹි සිහිහෙන් හිඳ තද 
තිතට වැඩ පෙන්වන්න පිටියෙහි බිඳල නැගිටින රුපුනොද
සතුට උතුරා යන්න අපමණ දෝර ගලමින් හිත මැද
ඔබට මෙලෙසින් එවමි සුපැතුම් ජයෙන් ජය වේවා අද !!!

Monday, December 14, 2020

148. කමුද බරිකිත් ?













ඉෂ්ට වෙන්නැති පැතුම් අභියස තට්ට තනියම වැළපුනා
දෂ්ට කරමින් සිනා සරදම් වටේටම හිත කැරකුනා
කට්ට කළුවර මකා ගෙන හඳ වළා වියනෙන් මතුවුනා
වට්ටවන්නට හයිය හිත බිම තාම බෝලෙට බැරි උනා 

පට්ට කිව් අය පට්ටමත් නෑ සොබා දහමට වෙයි නතූ
කට්ට අපටම නොවේ කාටත් කන්න වෙයි දෛවය සතූ
දිට්ඨ ධම්මය රසල් හට අද පෙන්වමින් කි කි ගතූ
මට්ටු කලෙ ඉසුරෙහි උදානය එක්ව හීනය අප පැතූ 

ගැස්ම කොපමණ නම්ද ඉහිළුව යැව්ව අවසන් පන්දුවේ
හුස්ම එවෙලෙහි ගත්තෙ කවුරුද දන්නෙ නෑ මම නම් නොවේ
ගැම්ම ටික ටික යද්දි අතහැර අපව බිඳි බිඳි බින්දුවේ
දුන්න හතරට සියක්‌ මල්වෙඩි තාම හිත තුළ පත්තුවේ 

හැන් ගෙමින් කළු මේඝ දූතයෙ වැස්ස සිටියදි පැත්තකින්
ඇස් පියන් මත සඳ කිනිත්තෙන් ඉහේ සඳ දිය යන්තමින්
කල් බලන්නට දින දෙකක් තව තියේ හිත පිරිමද්දමින්
හිස් අතින් ආ අපිට කෝකත් එකයි කමු බරිකිත් ඉතින්

වින්ද තරමට දුක් සුසුම් ලය සතුට සැනසුම ඉස්තිරයි
බින්ද තරමට පරාජය හද දිනුම සිත මන්මත් කරයි
මන්ද අඳුරට දිස්න දුන් තරු කොහෙද නෑ අද සත්තකයි
නින්ද අහිමිව ලියපු කවි රෑ බලනකොට හරි ලස්සනයි. 


Thursday, December 10, 2020

147. හීන ගිලිහී...















රෑට තනිවුන පාලු අහසක අන්ධකාරයෙ තනිවෙලා
කාට හැකිවෙද නාඬ ඉන්නට හීන යනවිට ගිලිහිලා
තාම නොවැසුන දෑස මගහැර සීත සුසුමක් බිම හෙලා
දෑත දිගුකර වැළඳ ගන්නෙමි හැකි වුනානම් ලං වෙලා 

පාර පෙනි පෙනි ගිහින් දිගටම දිනුම් කණුවට අත දුරින්
බාර ගන්නට වුනෙ පරාජය වාසනාවක් නැති කමින්
සූර ගෙන අවසාන පන්දුව බිඳුන පැතුමක ඉකිලමින්
තාම කකියන හදෙහි පතුලේ තියේ කඳුලක් මියයමින් 

බාලයන් රජවන කිරීටෙක කිරුළු දරමින් සිතු ලෙස
මාලයක් මල් නුහුරු ගෙලවට පළඳවන්නට බැරි ලෙස
තාලයන් අහුරා තියා ගී ආයෙමත් නෑසෙන ලෙස
කාලයට ඉඩ දෙමු ඔහේ හිත පාරවන්නට රිසි ලෙස  

සීරුවට එක වැස්ස වැටුනත් දියවෙලා කළු මේ කුලක්
බේරගෙන පෙති තාම හිනැහී ඉන්නවා සමහර මලක්
තෝරගෙන දේදුන්න සාදන රහස ගෙන සතුටෙන් බිඳක්
ඒවි යලි සමහර වෙලාවට අපට සුවදායක හෙටක්.


Wednesday, December 9, 2020

146. කළුවර ලඟට වෙලා














මල් පෙති වැටුනා නටුවෙන් මිදිලා
සිත සුසුමක හැපිලා
තරු එළි නිවුනා එකිනෙක මැකිලා
නෙත කඳුලක වැදිලා 
මිහිදුම් ඉරුණා ඈතට ඇදිලා 
හද රිදුමක එතිලා
පියමං කළදා ඔබ දුර ඈතක
මගෙ අත අත හැරලා
 
ඇතිවෙන නැතිවෙන සැප දුක හමුවේ
එකතැන නොනැවතෙමින් 
සසරෙහි වෙරළත සොයමින් පැමිණෙයි
ජීවන රැල්ල නිතින්
සනසන කලඹන සිතුවිලි පිරිමැද
හද බිතු අතර සෙමින්
හමුවන වෙන්වන ලෙන්ගතුකම් ඇත
සසරෙහි පුරුදු ලෙසින් 

හැරගිය පෙම හිත පාරනකොට පෙර
මතකයෙ නතර වෙලා
මියැදුන හීනය සිහිපත් වේ මල්
සුවඳක මිලින වෙලා
අහිමිව ගියමුත් අහිතක් නෑ හිත
එය දැන් පුරුදු වෙලා
තනිකම කවියක හිර කර ගන්නෙමි
කළුවර ලඟට වෙලා


Tuesday, December 8, 2020

145. පාඩුවේ යන ගමන යමු අපී

















ඇති වෙමින් නැති වෙමින් ගලන මේ ජීවිතේ
පුදුමෙකැයි විටෙක සිත කියනවා 
ඉක්මවා තරම පිම්බෙන සබන් බෝල හරි
ඉක්මනට උඩ ගිහින් බිඳෙනවා
පැහැය නැති උනත් ඉමිහිරි සුවඳ දෙන ඉතා
කුසුම් රෑ තුන් යමෙත් පිපෙනවා
බලන් හිටියොත් අහස පහු වෙලා හරි හඳක්
කළා සොළසක් අරන් පිපෙනවා
 
දිනුම පැරදුම දෙකම උරුමයක් වූ ලොවේ
සම සිතින් ලැබෙන දේ ගමු අපී
දුවන අය දුවපු දෙන් හති වැටෙනකන් ඔහොම
බලාගෙන පැත්තකින් ඉමු අපී
අපව මායිම් නොකර සමච්චල් කරපු අය
ඉතින් පව් සමාවක් දෙමු අපී
කවද හරි දිනන තුරු නතර වෙන්නෙම නැතුව
පාඩුවේ යන ගමන යමු අපී.


Wednesday, December 2, 2020

144. ඒ වගේ ..













මේ මල් පිපෙන්නේ කෙසේ
මේ රළ බිඳෙන්නේ කෙසේ
මේ තරු දිලෙන්නේ කෙසේ
අපි හමු වුනෙත් ඒ වගේ ...

සඳ එළිය සියුමැළි කෙසේ
නිල් අහස පැහැදිළි කෙසේ
මඳ පවන සිහිලැල් කෙසේ
අපෙ ආදරෙත් ඒ වගේ ...

මල් සුවඳ දෙන්නේ කෙසේ
බිඟු ගී ගැයෙන්නේ කෙසේ
පිණි මුතු දිලෙන්නේ කෙසේ
අපි අපෙ වුනෙත් ඒ වගේ ...

තුරු පත් හැලෙන්නේ කෙසේ
රොන් සුණු සැලෙන්නේ කෙසේ
සුසුමන් මිදෙන්නේ කෙසේ
අපි වෙන් වුනෙත් ඒ වගේ ...


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.