Tuesday, February 5, 2019

47. සිනා...

ආදරේට හාදු දෙද්දි මුවින් පැන්න කිරි සිනා
කාමරේට හැංගි හොරා එද්දී පැන්න කිරි සිනා
ආච්චිගෙන් තෑගී ගද්දි බෝම වෙච්ච කිරි සිනා
කෝච්චියට අත වනද්දි පාට වෙච්ච කිරි සිනා

තාත්තගේ කරේ යද්දී සද්දෙ දැම්ම කිරි සිනා
පාත්තියේ පස් කොටද්දී උඩින් පැන්න කිරි සිනා
පොච්චියෙන් දුම් දමද්දී ඉහල නැග්ග කිරි සිනා
පාන්දරින් මල් පිපෙද්දී දසත විසුල කිරි සිනා

යාන්තමින් ඇස් අරිද්දි නෙලුම් මලේ ඒ සිනා
වාන් දමන් ගලන ගඟේ සුදු පෙණ කැටි ඒ සිනා
හීන්සැරේ කන්ද ඉඹින මීදුම් සළු ඒ සිනා
කාන්තියෙන් දිස්නෙ වැටෙන මුතු පිනි කැට ඒ සිනා

පාත් වෙමින් පහල බලන වලා පෙලේ ඒ සිනා
මෑත් වෙමින් අතු අස්සෙන් හිනැහෙන මල් ඒ සිනා
ඈත් එක්ක හාද වෙන්න හමන සුළගෙ ඒ සිනා
හාංකවිස්සියක් එබැව් නොදැන නගයි ඈ සිනා...

46. එදා සහ මෙදා ...

අතට අහු වුන හැම කොලේකම
බලි කුරුට්ටක් ඇඳලා නිතරම
තබා එක ළඟ නුඹයි මාවයි
එදා දුටුවෙමි මගේ ලෝකය

බිත්ති පොත් පිටු බිමද හැමතැන
බලි කුරුටු නුඹ අතින් නිමැවෙන
නුඹයි මාවයි ඒත් එකලඟ
මෙදා දකිනෙමි නුඹේ ලෝකය...

Sunday, February 3, 2019

45. පාරමී පුරමි...

නිදන පොඩි සඳකට
රහස් කොඳුරනු නොහැකිව
කවි පෙළක් ලියවෙයි
නුඹේ මුදු මුව සිඹිමින

සුන්දරම හැඟුම් අහුරක
මහා මෙරක් සේ සෙනෙහස
දිනෙන් දින තව ලියලයි
නුඹේ සුවදින් පණ ලැබ

සසර මග පුරාවට
නුඹ නමට දිවි කැපකර
මටම යලි හිමි වන්නට
පාරමී පුරමි මම...


44. වස්තුව ...

කඳුළු දිය කර හරින කිරි ටිකිරි සිනාවයි
සුසුම් පා කර හරින මුදු තෙපුල් කතාවයි
මහා මෙරක හිසේ බර දුටු සැනින් පලා යයි
මගෙ කුඩා මැණික මට සදා වාසනාවයි

ඉඩෝරෙට බිඳුණු හද බිමට වැසි වැස්සුවේ
අවාරෙත් කැකුළු මල් නටු අගට කැන්දුවේ
අමාවක දිනෙත් සඳ අහස් කුස නැංවුවේ
මගේ පණ ඉතින් නුඹ තමයි මගෙ වස්තුවේ !

Friday, February 1, 2019

43. නුඹට...

හෙමිහිට අඩි තියා උයනට ඇවිද ගිහින්
සුදු මුදු රෝස කැකුලියනට හාදු දෙමින්
ලීවෙමි කවක් පෙති මත සියුමලිව ඉතින්
සුරතල් පපා නුඹ දඟ කල විදිය තොසින්

එන මඳ නලෙන් උදයෙම සීතෙන් වුවද
ඉව කර නොඉවසිල්ලෙන් ඔය කිරි සුවඳ
කරගෙන තුරුළු හරි ආදරයෙන් කවුද
තනියෙන් සිනාසුන දින කොතරම් ඇත්ද

ලස්සන සින්දුවක් අහගන්නට කියලා
සුටික්කන් ගෙ කිචි බිචියට කන් යොමලා
කොඳුරා උන්ට කවියක තාලය කියලා
මතකයි වරු ගණන් මල් ගස් ළඟ උන්නා

සමනළයින් ගෙ අත් තටුවල රැඳී පාට
සිත්තම් කරයි ලොව නුඹ මෙහි එන දාට
සිතමින් සිය දහස් වර සිහිනෙන් රෑට
නිසැකයි කීව කවි නුඹ හට ඇසුනාට

රන්වන් හිමිදිරියෙ ලා හිරු නැග එද්දී
සිත්තම් කරන් සොම්නස මල් හිනැහෙද්දී
මත්වී එයින් මොහොතක් හිත නවතිද්දී
නුඹමයි සිහි වුනේ සිහිනෙක පාවෙද්දී

නැග එන රැල්ල නගමින් සුරතල් තාල
පිළිගෙන තොසින් දක්වන සෙනෙහස ආල
මා වගෙ නුඹට අන්දන සුසිනිදු සේල
ජීවය උතුරමින් දිදුලන ගං දෑල

කැටි කර මෙලොව සොඳුරුම දේවල් එකට
මැදි කර සෙනෙහෙ උල්පත නොසිඳෙන එයට
ගුලි කර අතේ මුළු ලෝකෙම මා වෙතට
ගෙන ආ නුඹට මා පුරනා පින් කුමට !

Friday, January 25, 2019

42. පුදුමයි තවම යලි මා ලැබූ දිනය පණ...

හසරක් නොදැන සසරෙහි සැරිසරන දින
නොදැනිම වගේ නුඹ විත් කුස තුලට පැන
සෙනෙහස මුහුද හරවා හිත ලඟට වුන
පුදුමයි තවම යලි මා ලැබූ දිනය පණ

හා පැටියෙක් වගේ තුරුළුව ලඟට වෙමින්
සුරතල් වදන් මුමුණන විට සිනහ සෙමින්
මුළු තුන් ලොවේ කිසිවෙකුටත් නොමැති ලෙසින්
පුරවයි සෙනෙහෙ සිත නිරතුරු උතුරුවමින්

ඉපදුනු දා පටන් ලෝකෙම සරසන්න
දඟ පැටියෙක් වෙලා මට කරදර දෙන්න
නොසිතා හරිම අවිහිංසක ලෙස ඉන්න
කොහොමද පුරුදු වුනෙ පැටියෝ පවසන්න!

41. නෙළුම් මලයි නුඹ ...

සුදු නෙළුම් මලක සුවඳ දිගේ සිත පැටලෙනවා
මුදු සුවඳ දිදී නුඹෙ සුවඳට තව ලංවෙනවා
ඒ අතීතයේ සිතූ සිතුම් මට සිහිවෙනවා
ඒ අතීතයේ සිතූ සිතුම් අද සුව දෙනවා

සුදු නෙළුම් මලක් බෙල්ලන්විල බෝ සමිඳුන්ට
බැති සිතින් පුදා පැතුවේ මං නුඹ මගෙ වෙන්ට
නිදි ලොවේ සිනාසී සිහිනෙන් ආ දැකගන්ට
කිරි සුවඳ දැනේ දුන් එදවස මා සනසන්ට

හිස් අහස් ගැබේ පොඩි තරු කැට අතරින් පායා
සඳ කුමාරියක් විත් අහසට රහසක් කීවා
සඳ දියෙන් තෙමා සිත් අහසම සෙනෙහෙන් නාවා
පස් මහා බැලුම් නොබලා නුඹ මා වෙත ආවා

හෙමි හෙමින් මතක පොත පිටු පෙරලා බලන්නෙමී
සුන්දරම මතක මල් ගෙන යලි යලි සිම්බින්නෙමී
මල් සුවඳ පිරුණු සුසුමක් සතුටින් මුදන්නෙමී
මගෙ නෙළුම් මලයි නුඹ, ආදරයෙන් රකින්නෙමී

Friday, January 4, 2019

40. දුවණි ...

සහස් සුවහස් සිනා පුබුදන
සිහින ගොන්නක් සිතට කැන්දන
සුවඳ දෙන මුදු වදන් තෙපලන
නිසල මගෙ දිවි අරණ කළඹන
දුවණි මගෙ සිත නුඹට නතුවන...

නැවුම් උල්පත් සිතක උතුරන
හදෙහි නෙක මල් මඩුලු හැඩලන
මවෙත වෙලෙමින් සොඳුරු සුව දෙන
නිබඳ මගෙ ජීවිතය කියවන
දුවණි මගෙ නෙත නුඹම ගෙනයන...

අඳුරු පැහැ මඳ මලක පෙති ගෙන
සෙනෙහෙ ස්වරයෙන් නිබඳ නලවන
වැටෙන නොවැටෙන කඳුළු කියවන
මියෙන්නට යෙන සිතට දිරි දෙන
දුවණි මගෙ සඳ නුඹය මගෙ පණ...

39. ජීවිතේ හමු වෙලා...

රැය පුරා නෙතු ඇරන්
දුටු සිහින ඉටු වෙලා
නිදි නොමැති නෙත් කෙවෙනි
සෙනෙහසින් මත වෙලා...

හැඟුම් දිරා පිරී ගොස්
හද මඬල ඉතිරිලා
විවර වූ මුව අගට
සුබ පැතුම් ලං වෙලා...

දිවි මගට එලිය දෙන
පහන් වැට දැල්විලා
කුඩා මුදු හිතක් ළඟ
ජීවිතේ හමුවෙලා ...



38. සිතන්නෙමි මම නුඹ ගැන ...

අහස කහ පැහැ ගැන්වුන
පොලොව සතුටින් මත්වුන
සැන්දෑවක සිරි විඳිමින
සිතන්නෙමි මම නුඹ ගැන...

කටුක බස් හිත කොනිහන
කප්පරක් වැඩ හිර වුන
විටෙක කඳුලක් ගිලිහුන
සොයන්නෙමි නුඹෙ මුදු හඬ...

ගැඹුරු උඳුවප් සීතල
සීනයෙන් නුඹ හිනැහෙන
හාදු මුහුදක් නුඹටම
තමන්නෙමි මුදු සෙනෙහෙන...

ජීවිතේ පොත අවසන
සන්ගවගන්නට පණ නළ
දිනක් එනතුරු මතුදින
සිතන්නෙමි මම නුඹ ගැන...

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.