Thursday, November 8, 2018

37. නැට්ටිච්චි ...

රතු පාට කොට ගවුමක් උඩට
කහ පාට දිග කලිසමක් යටට
රෝස පාට මල් තොප්පියක් හිසට
කහ පාට මල් කුඩයක් අතට
ඇත්තමයි පොඩි කෙල්ලට
ගැලපෙන ඇඳුමක් අන්දල
පිළිවෙලට එක්කං යන්න
අද ඉන්න අම්මලට
තේරෙන්නේ නැති හැටි
දකින අය කියනවා ඇති
නැත්නම් හිතනවා ඇති
ඒත් මක් කරන්නද
අම්ම අහිංසකයි 
ගෙදර හැමදේම සිද්ද වෙන්නෙ
පොඩි එකීට ඕන විදියට
දකින අය දන්නවද ඕව
අද පැයක් විතර නටල
ඔක්කොම ඇඳුම් එලියට ඇදලා
එකින් එක බලල තමයි
තෝරගත්තෙ මේ ඇඳුම
ඒක ඇන්දුවේ නැත්නම්
අද නිවාඩු තමයි
නැට්ටිච්චිටයි එයාගෙ අම්මටයි
දෙන්නටම.

Friday, November 2, 2018

36. බුදු සාදු සිටිය කාලේ...

බුදු සාදු සිටිය කාලේ
මා සිටිය නම් මෙ ලෝකේ
මගෙ චූටි නංගි සමගින්
සැමදා ගොසින් වඳින්නම් ...

සුදු මල් මිටක් නෙළාලා
මල් වට්ටියක් සදාලා
කුසුමේන නේන කියලා
බුදු සාදු පා පුදන්නම්...

හොඳ ළමයි වෙන්න ඕනේ
බණ පද අහන්න ඕනේ
බුදු සාදු කිව් කතා මා
පොඩි නංගිටත් කියන්නම්...

බුදු සාදු සිටිය කාලේ
මා සිටිය නම් මෙ ලෝකේ
මගෙ චූටි නංගි සමගින්
සැමදා ගොසින් වඳින්නම් ...
වැඳලා නිවන් පතන්නම්...




Wednesday, October 31, 2018

35. බලන්න හඳමාමා ...

සුළං කුරුල්ලන් පසු කරලා
පුළුන් වලාකුළු උඩ නැගිලා
ඉගිල්ලිලා සඳ ලෝකෙට යමු අපි
බලන්න හඳමාමා ...

බටිත්තනේ නුඹලා - පරිස්සමින් පියඹා
අපිත් එක්ක එහි යන්නට එනවද
බලන්න හඳමාමා...

දිගටි දෙකන් ඔසවා - බලාවි හා පැටියා
කැරට් අරන් යමු යද්දී එහේ අපි
බලන්න හඳමාමා...

අහස් ගඟෙන් නාලා - කිරියි පැණියි කාලා
දේදුන්නෙන් එමු එහේ ගිහින් අපි
බලන්න හඳමාමා ...

34. ආසයි අහන්න ඒ ගැන මං...

සිනා සලන්නට ලොවට පෙනෙන්නට
හැකිය නුඹේ කිරි සිනා අරන්
කතා කරන්නට ලොවට ඇසෙන්නට
හැකිය නුඹේ මුදු කතා අරන්
කවක් ලියන්නට සැමට දකින්නට
හැකිය නුඹට හිත මුවා කරන්
කියා දෙන්න නුඹ මට හිමි වූ හැටි
ආසයි අහන්න ඒ ගැන මං

රන් පාට හිමිදිරියෙ පිණි බිංදු පොදි ගැහෙන
සෙව්වන්දි හිනැහෙන්නෙ නුඹ වගෙද මට කියන්
සීරුවට මුදු සුමුදු මල් පෙත්ත ඉව කරන
සමනල්ලු මුමුණන්නෙ නුඹ ගැනද මට කියන්

වෙල් යාය ඉස්මත්තෙ බක් මී පොකුරු පිපුණ
අතු අගිසි නැළවෙන්නෙ නුඹ වගෙද මට කියන්
ඒ සුවඳ ගෙන හමන මඳ සීත පවනැල්ලෙ
සැනසිල්ල මුසු කෙරුවෙ නුඹ නොවෙද මට කියන්

සිනා සලන්නට ලොවට පෙනෙන්නට
හැකිය නුඹේ කිරි සිනා අරන්
කතා කරන්නට ලොවට ඇසෙන්නට
හැකිය නුඹේ මුදු කතා අරන්
කවක් ලියන්නට සැමට දකින්නට
හැකිය නුඹට හිත මුවා කරන්
කියා දෙන්න නුඹ මට හිමි වූ හැටි
ආසයි අහන්න ඒ ගැන මං..

Thursday, September 20, 2018

33. මල් ඉත්තක් වෙමු අපි සාදූ ...


මල් ඉත්තක් වෙමු අපි සාදූ
සම්බුදු සිරිපා මුල සාදූ
හොඳ ළමයින් වෙන්නට සාදූ
බණ පදයක් කිව මැන සාදූ ...

විහාරෙ ඇතුලේ ඇයි සාදූ
තනියම වැඩ ඉන්නේ සාදූ
අප හා තරහද බුදු සාදූ
ඩිංගක් හිනැහෙනවද සාදූ

හොඳ ළමයින් වෙමු අපි සාදු
වරදක් නොකරමු අපි සාදු
තව තව හොඳ වෙන්නට සාදු
බණ පදයක් කිව මැන සාදූ ...

Thursday, September 13, 2018

32. අවුරුදු කුමාරී ...


අමාවකෙත් පුන් සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපෙනා විටදී මුවේ
හිතේ පිරෙන සෙනෙහස මහා මුහුද වගේ
ජාති ජාති නුඹ මට වාසනා ගෙනේ ...

පාට වළලු පොඩි සුදු ඇත දෙකට අගේ
මාල පබළු මුතු අමුණා හරිම අගේ
පුංචි රෙද්ද හැට්ටය ඇඳ දිගට දිගේ
දූ කුමාරි අවුරුදු කුමරියක වුනේ...

කොණ්ඩෙ දාපු අරලිය මල සුදට සුදේ
පුංචි හිසට ලොකු වැඩිවා වත්ද අනේ
පපා නොයෙක ආඩම්බර හතර අතේ
දූ කුමාරි අවුරුදු කුමරියක වුනේ...

Wednesday, September 12, 2018

31. වාසනාව චූටි පැංචිගේ ...


මල් මල් මල් සිනා ගෙනෙන - රන් වන් රන් උදෑසනේ
වාසනාව චූටි පැංචිගේ - ගේ පුරාම විසිරිලා තියේ ...

තාත්තටත් කාසි පනම් - වැඩි වැඩියෙන් ලැබෙනවාලු
යන එන තැන ගමන බිමන - සුබ අතටම හැරෙනවාලු ...

අම්මට නම් මුළු ලෝකෙම - ලස්සන වී පෙනෙනවාලු
කොහේ ගියත් මොනව කරත් - දූගෙ සුවඳ දැනෙනවාලු ...

ආච්චි අම්මගෙත් හිතට - සනීපයක් දැනෙනවාලු
පුංචි පැංචිගේ හිනාව - දැක්කම ලෙඩ මැකෙනවාලු ...

සීයට නම් කණ්නාඩිත් - නැතුවම ඇස් පෙනෙනවාලු
එයත් තාම චූටි බබෙක් - වගේ කියල හිතෙනවාලු ...

පුංචිට නම් හිත පිරෙන්න - ගොඩක් කෝල් ලැබෙනවාලු
මල් කඩ කඩ මුළු දවසම - මල් වත්තෙම ගෙවෙනවාලු ...

සීනු පැටියගේ පුරු පුරු - දැන් වැඩියෙන් ඇහෙනවාලු
දවස තිස්සෙ ලඟට වෙලා - ඉඳගෙන තනි රකිනවාලු ...

ඔක්කොටම සැර දමන්න - චූටි බබෙක් ඉන්නවාලු
වාද බේද නෑ කවුරුත් - එයට හිස නමනවාලු ...

Tuesday, September 11, 2018

30. බලා සිටින්නම් නුඹේ දිහා


හිටපු ගමන් හරි ජොලි මුණක් ලස්සනට මවා
පටල පටල නුඹ කවි කියනා විට ලඟට වෙලා
සුරතල් ඉතිරෙන පොඩි මූණේ රූ අසිරි බලා
වසඟ වෙලා මම බලා සිටින්නම් නුඹේ දිහා

හරිම ලස්සනයි පැටියෝ කිව්වම පැනල උඩ
ගමටම ඇහෙන්න වොලියුම් වැඩිකර දීල හඬ
කෙලින් කරල ඇඟ බැලන්ස් කරන නැග පුටුව උඩ
කියයි තවත් කවි උනන්දුවෙන් හරි දාල හැඩ

පුංචි මමයි සුදු අම්මෙ නුඹේ රත්තරන් පුතා
තොත්තු දෙමී මම ලඟට ඇවිත් කිව්වොතින් කතා
රෝස මලයි පොඩි පිච්ච මලයි ලස්සනයි ඉතා
අන්න හරී ඒ වගේ තමයි මේ පුංචි පුතා

යන්නෙ කොහෙද අපි තාත්තෙ මේ ලොකු බැද්ද මැදින්
මල් පිපිලා සුදු රෙද්ද වගේ සුවදයිනෙ ඉතින්
එන්න පුතේ රස බතුත් දේවි අත්තම්මා ඇවිත්
යන්නෙ අපී ලොකු සීයා බලාලා දෙන්න බුලත්

ඇති කරන්න පොඩි අලි පැටියෙක් අර ගන්නවලූ
ඉන්න එයා හට විසාල වත්තක් වවනවලූ
පුංචි කමට හරි ලස්සන කවි දැන් කියනවලූ
ලොකු උනාම නම් අම්මා වගේ කවි ලියනවලූ


Friday, September 7, 2018

29. වසන්තය කියන්නේ...


මගෙ හිත පිරී තිබෙන්නේ
නුඹ ගැන සිතුවිල්ලෙන්
වෙන කිසිවෙකු ගැන හිතන්න
හදවතට ඉඩක් නැහැ නේ
මගෙ නෙත රැඳී තිබෙන්නේ
නුඹගේ පොඩි මුහුණයි
වෙන කිසිවෙකු හෝ දකින්න
දෙනුවනට ඉඩක් නැහැ නේ ...

නුඹ මට දීලා - කාලය පියඹා
දැන් තුන් අවුරුද්දයි
කවුරුන් වේවා හමු වූ මොහොතේ
නුඹ ගැන තතු විමසයි
මගෙ හිත පිරී තිබෙන්නේ...

කඳුලැලි මැලවී - හසරැලි මතු වී
අප ලොව අද සොඳුරුයි
පීදෙන පියුමන් - දළුලන තුරු වැල්
මට නුඹ ගැන පවසයි

වසන්තය කියන්නේ දුවටයි මටයි ..


Thursday, September 6, 2018

28. සතුට කොයි තරම් ..


රෑ සඳ අහස ගඟෙන්
සිසිල ගෙනෙන විට පොළවට
තරු නිවී නිවී දිලිහෙනවා
නුඹ මගෙ ළඟ නිදියනවා
පැටියෝ හිතට දැනෙන සතුට කොයි තරම් ..
සතුට කොයි තරම් ..

පිපී සුවඳ ගෙන මුවඟට
එතී හමන මඳ පවනට
රෑ කුමාරි මල් අර කවුරුන්ද හොයන්නේ
දු කුමාරි මගෙ නිදියනවාද අසන්නේ 
එබීගෙනම ඉඳ පහලට
වෙලී ආදරෙන් සුහදව
රෑ සවාරියක් තරු කැට යන්න හදන්නේ
දු කුමාරියට ලස්සන හීන ගෙනෙන්නේ

හිච්චි පෙති විදා විගහට
පිච්ච මල් කැකුළු තරගෙට
නිනව්වක් නැතුව දස අත සුවඳ බෙදන්නේ
සුරංග නාවිට මගෙ ආදරෙයි කියන්නේ
නැතිය නිදිමතක් දෙනෙතට
ඇතිය තදියමක් හිතයට
පේළි පේලි පද අමුණා තාල හොයන්නේ
සුරංගනාවිට කවියක් මාත් ලියන්නේ

රෑ සඳ අහස ගඟෙන්
සිසිල ගෙනෙන විට පොළවට
තරු නිවී නිවී දිලිහෙනවා
නුඹ මගෙ ළඟ නිදියනවා
පැටියෝ හිතට දැනෙන සතුට කොයි තරම් ..
සතුට කොයි තරම් ..

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.