උහුලගෙන දුක සුසුම පිටකල ගස් වලින් බව කියන්නේ
රඳවාගෙන එක තැනක හිත මම තවම එයමය හිතන්නේ
සුවඳදෙන පොඩි මුහුණ ළඟ එය සැබෑවක් බැව් හැඟෙන්නේ
පිපී එන්නට පෙරාතුව නුඹ, පිපුණු මල් දෝතට අරන්
තියාගෙන ළඟ මගේ කරගෙන හැමු සුවඳට ලොබ බැඳන්
පියාඹා ගොස් හිතින් බොහො දුර හීන මැව්වත් වරු ගණන්
සුසුම් පමණයි පිටවුනේ අන්තිමේ හිත රැඳි දුක අරන්
බෙදාගන්නට සමව දුක සැප කවුරුවත් ළඟ නැති තැන
හමාගෙන ගිය සුළං රැලිවල හැපී සුසුමන් සඟ වුන
හොයාගෙන විත් නුඹව සිටි තැන බලා ඉන්නාට බැරි තැන
කවුරු හරි නුඹ හට කියන්නැති මගේ දුක්බර හිත ගැන
අතු අගිස්සේ පිපී හිනැහෙන සුවඳ විහිදුවමින් නිතින්
කියාගන්නට බැරි තරම් හරි ලස්සනයි මට නුඹ ඉතින්
කියමි පෙන්වමි කා හටත් මුම්බා මගේ යයි ආඩම්බරෙන්
බොහොම පින් මගෙ ළඟම පිපුනට මගේ මල් කැකුළේ ඉතින්