Sunday, July 21, 2019
92. ආදරෙයි මං අම්මේ
නිදන්නට මහ මූදු පතුලෙහි ඉරත් අහසින් දුරස් වෙනවා
හිතන්නට බැරි හදිස්සියකින් තවත් සතියක් ඉකුත් වෙනවා
තෙහෙට්ටුව හිත රිදුම් දෙනකොට සෙනේ ගඟ නුඹෙ පසක් වෙනවා
දකින්නත් බැරි වුනා කලකින් අම්මෙ නුඹ මට මතක් වෙනවා
අහස සේ දුක් ගත්ත නුඹෙ හිත රෑ දවල් අප රකිනු වෙනුවෙන්
නපුරු වී වයසටත් වැඩියෙන් තව දුරක් නුඹ රැගෙන ගෙනිහින්
වගක් නෑ කිසි ගහට ගහ ගැන මල්ම මිස වෙන ලොවක් කොයිබින්
සිහිව මේ හිත කීරි ගැහෙනව හීනි නෙත් දිය පිරෙන සැනෙකින්
නටා ගයනා බටිති මාලති කුරුළු ගී පද ඇසුව තාලේ
සතා සීපා මිනිස් නොමිනිස් සැමට එකලෙස කරන ආලේ
කලා භවනක් වැනිවූ සිතකින් අපව සිතුවම් කරපු බාලේ
වහා සිහිනෙන් මතක් කරගමි අදත් රෑ නෙත් පියෙන වේලේ
පෙන්න පෙන්නා අහස, කට කට කැව්ව මුත් බත් අපට නිරතුරු
අල්ලාගන්නට නොකිව් හැටි නුඹ කවමදාවත් අපිට හඳ තරු
ඉල්ලගත්තේ නුඹේ හිත අපි සිහිල දෙන මුහුදවන් වෙසතුරු
ගන්න නොව විහිදන්න ලෝකෙට සුවද හැකි පමණකින් පිවිතුරු
කසාවත් පොරවන්න දිනෙකදි හිතේ මහ හීනයක් තිබුනා
අනේ අපි හින්දාම ඒ හිත කල් ඉකුත් වී සෙමින් මැරුණා
දයාවෙන් පිරි නුඹේ සුවඳෙත් නිවන් පුරයක් අපිට මැවුණා
මගේ අම්මේ ආදරෙයි මං මතක් වී මට ගොඩක් ඇඬුනා.
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
අනන්තයක මව් සෙනෙහස. .... දැනෙන නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී.
Deletewow
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන්.
Deleteසොළොස් කලා සපිරුණු පුන්සඳ සේමා
ReplyDeleteදිවි මාවතේ නොසැලෙන ඉදුඛිල සේමා
වැටෙනා හැම කලට උරහිස දුන් බෝමා
පෙම්මා වඩන නුඹ ළඟ සෙනෙහස බෝමා
මහා නුගයක් යටදි හිත විදින සුවේ
ඔබේ එක වදනකද ඒ සුවය ඇතේ
අනා මහ සෙනෙහසින් කැවූ බත් පිඩේ
ආදරය මිස වෙනත් කිසිවක්ම නොවේ
එපා වුන විටදි ජීවිතේ හොදටෝම
ඔබෙ දයා ගඟ ගලයි හතර අතටෝම
නෑ කිසිත් සම කරන්නට එහෙව් පෙමට
දියවරකි අම්මෙ ඔබ ඉරිතැලුණු හදට
බොහොම ස්තුතියි සඳවතියේ ලස්සන කවි පන්තියට.
Delete