Thursday, November 30, 2017

19. මටත් පුදුමයි ...


සෙනසුරාදට ටිකක් වැඩියෙන් නිදාගන්නට හිතුවොතින්
නැගිට හනිකට ඇඟට පැනලා ඉන්න ඇඟ උඩ දඟලමින්
පොතක් ආසම ටිකක් හරි කියවන්න කියලා ගත්තොතින්
ඒක අරගෙන මයනු ලයනූ ටයනු සොයනා පෙරලමින්

කුස්සියට ගිය විටදී කෑමක් උයා ගන්නට ඉක්මනින්
පඬියා වගෙ විත්  එක වැඩේ දෙක කරල ඔක්කොම වනසමින්
ඇමතුමක් අරගන්න හැදුවොත් කාට මුත් හරි හදිසියෙන්
රැගෙන එය ඔබ ඔබා නම් ගම කරන දෙවනත් හිනැහෙමින්

සුපිරියට අස් කරල සාලය තිව්ව මුත් බඩු පිලිවෙලින්
සැනින් ඇද ඒ සියල්ලම බිම දමල හැඩි කර මොහොතකින්
වැටෙයි බිම දිව්වොත් දුවන්නට එපා පැටියෝ කිව්වොතින්
අහක බලමින් නොන්ස්ටොප් හැමතැනම දුව යන විසි වෙමින්

දුකක් ඇවිදින් හිතෙනවා අම්මට අඬන්නට කිව්වොතින්
අම්ම ඇඬුවොත් පුතත් අඬනව කියන මං ළඟ නැලවෙමින්
එකට එක කර තරහවී පැත්තකට වී ගෙන උන්නොතින්
පුතා අම්මගෙ රෝස මල මේ, කියා උම්මා ඉල්ලමින්

පුතා කාගෙද කියන්නකො මට කවුරුහරි විත් ඇහුවොතින්
අම්ම තාත්තගෙ කියල සහතික කරන සැමටම සුරතලින්
හිතුන විට විත් දැවටිලා ළඟ අහිංසක කම පෙන්නමින්
මල්ලිවගෙ මං වඩන්නකො යයි කියන හරහට අත් දෙකින්

ඉරක් පායන හෙටක් ගැන නොම සිතුව මා හට සත්තකින්
පැතුම් පොදි පිරි හෙටක සිහිනය දිනෙන් දින තව ලියලමින්
ටිකින් ටික හිරි වැටී හිත සෙනෙහසම යලි යලි ඉපදෙමින්
මටත් පුදුමයි නැතිව පුතු, මං ඉතින් හුස්මක් ගත්තොතින්


2 comments:

  1. මේක කිරි සුවඳ ඉතිරෙන වියුණු සටහන් අඩවියක් පූ. හරිම ලස්සන කවි. මම ඊයෙත් ටිකක් කියවලා අදත් මේ ආවේ. ඔයා මේ ලියලා තියෙන චූටි පැටවුන්ට බුදු සරණයි. මගේ පැංචා ගැන මගේ හිතේ තියෙන දේවල් එහෙමම මෙතන අකුරු වෙලා තියෙනවා. හැම කවියටම කමෙන්ට් දැම්මේ නැතත් ඔන්න මේ කමෙන්ට් එක ඒ ඔක්කොටෝම, හොඳද? තව ලියන්න, මේක නතරවෙන්න දෙන්න එපා. :)

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මම මේ කමෙන්ට් එක දැක්කෙ දැනුයි කියල ඔයාට කියන්නේ කොහොමද..මම ඉතින් එනවා කවියක් කොටනවා යනවා ඇරෙන්න මේක මේවා බලන්නේ නැහැනේ. බොහොම ස්තුතියි සිත්තමී ඔයාගේ දිරිමත් කිරීමට. ඔන්න ඔයා බැලුවට පස්සේ ගොඩාක් කවි (කවිමත් නෙමේ සමහර ඒවා හෑලි) දාල තියෙන්නේ. ඔයාගේ පැංචා වගේම තමයි මගේ පැංචිත්. ඒගොල්ලෝ තනිකරම කවි.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.