Friday, February 11, 2022

214. තිතක් වෙනුවට ...















තවත් මල් පෙති වැටෙනවා 
සුළඟ නොනැවති හමනවා 
කොහෙන්දෝ පාවෙලා ඇවිදින් 
පුරුදු සුවඳක් දැනෙනවා 

දෑස ඈතක ඇදෙනවා 
කෙනෙක් ඒ යැයි සිතෙනවා 
තාම බංකුව දකුණු පැත්තේ 
එනවනම් ඉඩ තියෙනවා 

ඈත අහසම පෙනෙනවා 
පුරුදු හිස් බව තියෙනවා 
නූල කැඩිලා සරුංගලයක් 
ඔහේ ඔබ මොබ සරනවා 

දැස හෙමිහිට වැසෙනවා 
හීනි සුසුමක් නැගෙනවා 
නැගිට යා යුතු වේය ආපසු 
මසිත් මට බල කරනවා 

සඳක් ටිකකින් නැගෙනවා 
අදත් කවියක් ලියනවා 
තිතක් වෙනුවට කවිය අග දිග 
පේළියක් තිත් තියනවා..........



Thursday, February 10, 2022

213. හයිය හිත්

 

 








 හයිය බව පෙන්නාපු 
 හිත් අස්සෙ තියෙන්නෙම 
 මහමෙරක් සන්තාප 
 කාටවත් නොපෙනෙනා 

 මලක් වී උදෑසන 
 අතු මත්තෙ පිපෙන්නෙම 
 රෑ පුරා සුසුම් ලෑ 
 ගසක දුක් වේදනා 

 හුස්මකින් තිගැස්සෙන 
 හදවතේ තිබු නමුත් 
 මල් සුවඳ රැකගන්න 
 මහඟු පෙම් ප්‍රාර්ථනා 

 ඒ හීන හිත දරා 
 වෙන් වෙන්න වූ දාට 
 ගැලපිලා එකට එයි 
 නැති කරුණු කාරණා 

 නෑවිදින් හිටියාට 
 දුකක් නෑ කිසිදාක  
 ඒත් මුණගැහුණාම 
 යළිත් හිත පෑරෙනා 

 ජීවිතේ නව්කාව  
 කොහි යාද නවතීද 
 නොසිතාම යා කරමි 
 රෑ අහසෙ තාරුකා!

Wednesday, February 9, 2022

212. අපි යන්ද











ඇවිද යනවිට දවසක 
අදිසි යමකින් කැළඹී 
නතරවූ හදවතකි හිටි වන 
අර කන්ද ... 

පරිස්සම් කර මුදුනත 
සුරැක ගත් සිය ප්‍රේමය 
ගෙනෙනවා ඇති හිතට පිපි මල් 
මකරන්ද .... 

කිසිත් නොපෙනී පිටතට 
ඒත් හද ගැබ සිරවී 
කොයිතරම් දුක් ගිනි තිබෙන්නට 
පුලුවන්ද .... 

අපට පමණක් නොවෙමැයි 
සැමට සැප දුක උරුමයි 
ඉතින් සතුටින් වෙන් වෙලා දැන් 
අපි යන්ද ....



Tuesday, February 8, 2022

211. උණුසුම් කවියක් ඕනෑය

 

 











 සුසුම් පා කර ඈතට 
 රිදුනු සිත පිරිමැද්දා 
 කොලය අරගෙන ඒ මත 
 කුරුටු බලියක් ඇන්දා 
 අහස අග තරු යුවළක් 
 උනුන් හට තනි රැක්කා 
 දුබල එළියෙන් දෑසක 
 කඳුළු දිලිසෙනු දැක්කා 

 සසර ගනුදෙනු මෙතරම් 
 දුරක පැමිණෙන අරුමය 
 නටුව දිනෙකදි ගිලිහෙන 
 මලට ඉඩදිය යුතුමය 
 අයිති නැතිමුත් දෑසින් 
 දෑස පැටලුනු ප්‍රේමය 
 නොලැබ මගහැර යන්නට 
 හිතට තවමත් ලෝබය 

 පෙනෙන මානයෙ පැතිරුණ 
 අන්ධකාරය පමණය 
 මතක එලි දැල්වෙන්නේ 
 සසල සිතුවිලි අතරය 
 දැකපු හැම හීනයකම 
 සුවඳ තවමත් ඉතිරිය 
 අදත් උණුසුම් කවියක් 
 තුරුළු කරගත යුතුමය!


Sunday, February 6, 2022

210. වේදනා


















 කරුවලේ ඉන්නකොට 
 තාරකා ඇස්වලට 
 එලිය මුණගැහුනාම වේදනයි 

 සන්තාප වැහි වහින 
 මට සිලුටු හදවතක 
 හීන ගොඩ ගැහුනාම කරදරයි 

 පටු පුංචි කැදැල්ලක 
 මේ ලෙසින් කොටු වීම 
 එක්තරා විදියකින් සැනසුමයි 

 කොහොමටත් හුඟක් බර 
 හිත්වලට ප්‍රේමයක් 
 නෑවිදින් හිටියනම් අහවරයි!


Saturday, February 5, 2022

209. අඩක් ලියූ තව කවියක්

















ඇසින් උසුලගන්නට බැරි 
වසන්තයේ සිරි මේ යැයි 
කියා දීපු උණුසුම් හද 
කොහේ වේද අද සොයනෙමි 

අනන්තය ලඟට කැඳවා 
සුළං කපොල්ලක සිරකළ
ඉන්ද්‍රජාල රූපකාය  
වහා මතකයේ ඇඳගමි 

ආදරේ පිරි ඉතිරෙන
දෑසකින් හෙලූ සුසුමක් 
පාවෙලා ඇවිත් කොපුලක 
හැපී යන අයුරු හඟිනෙමි 

කලබගෑනි මැද සසැලෙන 
ජීවිතේ අඳුරු කැඩපත 
බිඳෙන්නට නොදී රැකගත් 
ස්නේහයේ මහිම දැකගමි 

එතී අඳුරු වැහි කෝඩෙක 
තුනී අකුණු පුපුරන විට 
නෙලුම් කුළුණ දිලිසෙන යුරු 
සැහැල්ලුවෙන් හිඳ විමසමි 

මහල් නිවාසෙට ඉහළින් 
රවුම් හඳක් පායනකොට 
අඩක් ලියූ තව කවියක්
මේස රෙද්ද යට සතපමි!



Friday, February 4, 2022

208. ඔබ නැතිව ඔබ එක්ක
















මල් සුවඳ මග ඇරුන 
අළු දූලි හෙවණැල්ල 
කාන්සිය පිරෙන හිත 
නැගෙද්දිත් අරුණැල්ල 
සොඳුරු නැති බව ඇත්ත 
කොලොම්පුර පවනැල්ල 
ඒත් දිගටම හුස්ම 
ගත යුතුයි පෙණහැල්ල 

සැකයකිය නිරතුරුව 
අසනීප හදවතේ 
හැකිවේද නගින්නට 
ජීවිතේ ගිරිදඹේ 
ඉසිඹුවක් ගත හැකිය 
හොවා සැනසුම් හිතේ 
ලැබෙයි නම් දිගම දිග 
ඔබේ කෙටි පණිවිඩේ...

දම්පාට ආකාසෙ 
මන්දාරමක් ගාව 
ඔබ නැතිව ඔබ එක්ක 
පාවෙන්නමයි ආස 
සංසාර සුවඳක්ව 
මේ පාලු හිත ගාව 
සැරිසරන පිනම ඇති 
ගෙනියන්න යනදාට...



Thursday, February 3, 2022

208. රැය














මාර ගස් අතු පතර 
තටු එකට පොරෝගෙන 
නිසොන්මන් වී රැයේ 
කොළඹ කපුටන් නිදයි 

නැතිව තෙල් වැඩ බැරිව 
අන්ධකාරෙහි ගිළුණු 
කැළණිතිස්සට එපිට 
පහන් කණු හිස නමයි 

නිතර අක්‍රීය වන 
නොරොච්චෝලේ වගේ 
එලිය බිඳ වැටී වැටී 
කණමැදිරියන් සරයි 

සුරඟනා ලොව දෙසට 
සිහිනයෙන් ඇවිද ගොස් 
ජීවිතේ පොරෝගෙන 
පොඩි පැටික්කිය නිදයි!



Wednesday, February 2, 2022

207. මගෙ අහස



 








 වලාකුළු කැරලි ටික 
 පැත්තකට කෙරුවාම 
 අහස් නිල්, නිල් පාට 
 ඔය කමිසෙ ඇන්දාම 
 ඉණට අත් දෙක තියන් 
 පල්ලෙහා බැලුවාම 
 ඇත්තමයි මේ අහස 
 කොයිතරම් ලස්සනද 

 මොකක්හරි අල්ලගෙන 
 විහිළුවක් කෙරුවාම 
 තරහදැයි අස අසා 
 මං අතින් ඇද්දාම 
 දම් පාට කර මූණ 
 තව බුම්ම ගත්තාම 
 ඇත්තමයි මේ අහස
 කොයිතරම් ලස්සනද 

 අවුස්සා රැලි කොන්ඩෙ 
 අවුල් කර දැම්මාම 
 ඇහි පිල්ලමක් හොරෙන් 
 ගලවගෙන දිව්වාම 
 අල්ලන්න පසු පස්සෙ  
 දුවල හති වැටුනාම 
 ඇත්තමයි මේ අහස
 කොයිතරම් ලස්සනද 

 හංගගත් මගෙ කවිය 
 උදුරලා ගත්තාම 
 බැරෑරුම්කම මූණෙ 
 ඒ සැණින් ඇඳුනාම 
 හිනා පිපිරෙන සද්ද 
 හිත යටින් ඇහුණාම 
 ආදරේ මං හුඟක්  
 මේ අහස මගෙ නේද?



Tuesday, February 1, 2022

206. මතක














අපිට අපි රැකගන්න බැරි වුනොත් කවදාහරි 
එක අහස යට ඉඳිමු සතුටින්ම කොහොමහරි 
ක්ශිතිජ ඉම දෙස බලා එදා අපි කියපු හැටි 
සිහි වුනා දකින විට හෝ ගගා අඬන රැළි 

හෙට ආයෙ එනවමයි ගිවිසගෙන හිටියාට 
දුක හිතෙනවා නේද ඉර මූදෙ ගිලුනාම 
පාලුවට තරු ටිකක් උඩ අහසෙ හිටියාට 
ඇහැරගෙන ඉන්නවා ඇති මූද මුළු රෑම 

වැලි අස්සෙ කිරි කවඩි සිප්පියක් හංගලා 
රැල්ල මුමුනණු ඇසේ ගිහින් එන්නම් කියා 
මතකයේ ඇවිදිද්දි අපි එකට අඩි තියා 
හිරිවැටුණු හිත උඩින් කෝච්චිය දැන් ගියා!



සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.