Monday, August 31, 2020
133. හිත හදාගෙන අස්වැසෙන්නම්
කඳුළු බිඳුවක් ඇසින් වැටුනා පරණ මතකය සිහි වෙලා
කුරුළු දෙහදක ඇඳුණු ආදර සිහින සිතුවම බොඳ වෙලා
අඳුරු අහසට නොකිය සඳවත කොහෙද ඈතක සැඟවිලා
සිදුරු වුන මුළු හදම කකියයි ඉවර මුත් සැම සිදුවෙලා
පේවිලා පා දෝත සිටියත් වැළඳ ගන්නට ස්නේහයෙන්
ගෑවිලා අත ආයෙ නික්මෙයි රැල්ල දියඹට වේගයෙන්
පෑසිනා මුතු අහුර හදවත හොවා සෙනෙහෙක නාමයෙන්
සේදිලා ගොස් සයුරු රැල්ලට වෙරළ දැන් අසනීපයෙන්
ජීවිතේ එක තැනක නොරැදී ගලන විට කෙලවර බලා
මාවතේ ඔබ නික්ම ගිය මම හිඳිමි තාමත් තනිවෙලා
මාරුතේ ගිලිහිච්ච කුසුමක් අහුලගෙන අහකට නොලා
මා ඔබේ යැයි කිව්ව දින හසරැල්ල ගමි මතකෙට නෙලා
නොම හඬා බැරි මුත් රිදෙද්දී සිදුරු හද එක සීරුවෙන්
නපුරු දා තනිකම් විඳින්නයි මිදෙන සුසුමක වාරුවෙන්
ලැබු නිසා ආදරේ හිමිකම් මගෙ නොවූ ඔය නෙත් තුලින්
හිත හදාගෙන අස්වැසෙන්නම් දිනෙක මතුදා මා ඉතින්.
Tuesday, August 25, 2020
132. ඒ ඔබ පමණි
මලක පෙති මත සෙනෙහෙ බිඳුවක් විහඟ තුඩකින් තියනවා
අසල ගැවසෙන සිසිල මඳනල එසිරි රහසෙම විඳිනවා
අතර මග අත හැරුණු හීනය දෑස අග යලි බිඳෙනවා
මතක අමතක කරන විදියක් නැතුව හිත දුක් විඳිනවා
පිපෙන විට තුරු හිසක කැකුළක් හෙටට පැතුමක් අතවනයි
නැගෙන විට අවපසෙහි තරුවක් අඳුරු අහසම හැඩ බලයි
හිඳින විට කිති කවා කිසිවෙක් හිත පුරා හරි උණුහුමයි
පිරෙන විට ආදරෙන් දෙසිතක් ලොවම බෙහෙවින් සුන්දරයි
බිඳෙන විට රළ අගිස්සෙන් මුදු සුමුදු පෙණකැටි සැදෙනවා
සිඳෙන විට එක රළක් තව දෙක තුනක් ඈතින් නැගෙනවා
නොගෙන මේ කමටහන් හිත වෙන කොහෙද ඈතක සරනවා
වෙරළ වෙත සංසාර ජීවන රැල්ල හෙමිහිට ඇදෙනවා
අහිමි හිමි නොම සිතා කිසිවක් අපේ වී අපි සිටි එදා
පැමිණි දුක් ඔබ හට නොවී නම් එයයි මගෙ සැනසුම මෙදා
තිබුණි නම් තව එකම පැතුමක් හදෙහි පණ අදිමින් රඳා
පමණි ඒ ඔබ ඊයෙ අද හෙට සසර මතු උපදින සදා!
Monday, August 24, 2020
131. හිනාවක් එක ඉතින් ඇති
හිතුනෙ නැතුවට මාස දින සති ඉකුත් වී වසරක් ගිහින්
කොහෙද ඈතක ඔබව අරගෙන ගොසින් මට නොකියම හොරෙන්
දැවෙන මතකයෙ සුවඳ ඉව කර ලිහුණු කවි පද ඇහිඳිමින්
පෙනුනෙ නැතුවට කාටවත් මං මගේ ලෝකයෙ මිය ගිහින්
සුළං හිරිකඩ සීත නපුරුයි ඇවිත් හිරිහැර කරනවා
ගිලන් හදවත වාරුවට එක උරිස්සක ඉඩ හොයනවා
බලන් ඉන්නට බැරිම තැන බලි කුරුටු ඇඳ යලි මකනවා
ඉතින් කෝ ඔබ කොහෙද කොතනද අසිහියෙන් සිත හොයනවා
වලාවක් නැති අහස යට බැරි සිසිල් වැසි දිය රැඳෙන්න
විලාපෙන් රෑ රැහැයි සෝකයෙ නපුරු දැහැනට වැදෙන්න
පලාතම හිස් මසිත එකමෙක හුස්ම බින්දක් නැගෙන්න
හිනාවක් එක ඉතින් ඇති අද හැකිද හීනෙන් පෙනෙන්න
Thursday, July 2, 2020
130. කාලයක් තිබුනා
කාලයක් තිබුනා
මල් වල සුවඳ හැඳිනූ
සිලි සිලි සුළඟ කියවූ
සුසුමක අරුම හැඟුනූ
මගෙ යැයි මා සිතූ...
දෑසකුත් තිබුනා
නිතරම රහස් මිමිනූ
නුහුරක මසිත රැඳ වූ
හුස්මට හුස්ම වැනි වූ
මගෙ යැයි මා සිතූ...
කටුක ගමනේ වෙහෙස දැනි දැනි සතුට මග අරුණා
හීන පොට්ටනි අතින් ගිලිහී මගදි බිම වැටුනා
එන්න යැයි අයදින්න හිතුනත් ඉතින් බය හිතුනා
ආවොතින් පිළිගන්න හද දොර කවුළු හැර තිබුනා
ඈත දුර මන්දාරමේ තරු එලිය නිදි මැරුවා
ආයෙ ආයේ වැරදි වැරදී කවිය මම ලිව්වා
සීත කඳුලක් දෑස අද්දර සීරුවෙන් උන්නා
ආකහෙන් හඳ කාටවත් නොකියම ගිහින් තිබුණා.
Friday, June 26, 2020
129. මගේ හිත අනේ අසරණ වුනා.
දිලී නොදිලී රැයේ ඉකිබින්ද තරු රෑන
ඈත මන්දාරමක තනිවුනා
හිතේ උණුහුම ගාව තුරුළු වී හිටි රුවක්
පෙනී නොපෙනී ගිහින් සැඟවුනා
වැටී පරවුණ මලක සිනිඳු පෙත්තෙන් පැමිණ
හිතේ පතුලට සුවඳ කිමිදුනා
බලා දෑසින් දෑස මිදුන සුසුමක සිහිළ
මැකී ගිය සිතුවමක බොඳවුනා
වැටී හොඳටම වැස්ස රිදී අත්තටු සේද
කදෝකිමියෙක් සෙමින් වැලපුනා
වැවේ දිය රැළි මතට අතහැරපු අපෙ හීන
අසනි සැරයක තිබී හමුවුනා
හැපී සිතුවිලි අතර ඉනූ කවියක සිරව
නොකී සෙනෙහෙක අරුම දියවුනා
ලිහී මතකය විසුල පලා යන්නට බැරුව
මගේ හිත අනේ අසරණ වුනා.
Monday, June 22, 2020
128. කෙනෙක් තාමත් ඉන්නවා
අගේ කර කර සුවඳ තවරයි මලක් සුළඟට සීරුවෙන්
විලේ දිය මත සොඳුරු සිතුවම් මැවේ සුදු සඳ සේලයෙන්
හිතේ හැටියට හීන ඇහිඳින රැයේ තනියම පාලුවෙන්
මගේ නොවුනට කමක් නෑ මට තාම මේ හිත ආදරෙන්
හිතේ පෙම සීරුවට අරගෙන මුතුම මුතු අකුරින් ලියා
එවූ කවි තව ගෙනේ සුපුරුදු සුවඳ හිත මත්තෙම තියා
මවා දෙන්නට සොඳුරු සිතුවිලි නිසල රෑ අහසට කියා
මගේ පණ තව ලියනවද කවි තාම නිදි නැතිදෝ ඔයා
තියාගෙන ළඟ පරිස්සම් කර ගන්න මට හුස්මක් වගේ
බලාගෙන සැනසෙන්න දිවි ඇති තුරාවට කවියක් වගේ
පියාගෙන ඇස් ගිලී කිමිදී සරන්නට සෙනෙහස් ගඟේ
පුරාගෙන පින් ආයෙ එන්නම් දිනෙක මං මෙසසර මගේ
නිනව්වක් නැති ලොවේ තනියෙන් ඔහේ සැඟවී ඉන්නවා
කප්පරක් වැඩ මත්තෙ නැහෙමින් හිතට මහ දුක් ගන්නවා
අනේ ඇති දැන් පරිස්සම් වී තුටින් ඉන්නැයි යදිනවා
නොකිව්වට ඔය ගැනම වදවෙන කෙනෙක් තාමත් ඉන්නවා
Monday, May 11, 2020
127. මතකය
සඳක් නැති කළු අහස් තලයෙන් සුසුම් දුක් බිම වැටෙනවා
පලක් නැති හීනයක පැටලී ලොවක් නිදි සුව විඳිනවා
මතක් කර එක් දිනෙක මතකය විටින් විට හිත බිඳෙනවා
වෙසක් පහනක් ඈත ගෙපැලක තාම නොනිවී දිලෙනවා
හදාගෙන නම් නැතිව අතොරක් සෑම මොහොතෙම හිනැහුනා
පියා ගෙන ඇස් ඔබේ සෙවණේ නිවී සෙනෙහෙන් සැනසුනා
තියා ගෙන හෙට දිනට පැතුමක් රැයේ සිත ළඟ සැතපුනා
නිසාවෙන් පින්මඳ මෙ දෝතින් නෙලූ මල් යලි ගිලිහුනා
බලා ඉමි දුර අඳුර මැද්දෙත් රුවක සේයා මැවෙනවා
අසා ඉමි පිණි වැටෙන හඬ ඒ මතින් කිසිවක් ඇහෙනවා
මළානික සේපාලිකාවන් හෙමින් සුළඟින් සැලෙනවා
සොයා ගෙන ඒ සුවඳ කිසිවෙක් මවෙත ඒ දැයි සිතෙනවා
එකින් එක මට නොපිපි මල් ඔබෙ නමට හෙට සුපිපුනාවේ
සුසුම් දුක් නෑ ඔබට හිමි මා වෙතම විත් සැඟවුනාවේ
කොහේ කොතැනක වුවද කම් නෑ සිනා මල් පිබිදුනාවේ
අහිංසක ඔය හිතට සැනසුම සදාකල් හිමි වුනාවේ!
Sunday, April 12, 2020
126. එදා වාගේම
බිඳක්වත් උණුහුම නොදී තරු සැඟවෙමින් මිය ඇදෙනවා
නිනව්වක් නොගෙනම වලාකුළු ඈත කන්දෙහි එතෙනවා
උදව්වට එන්නේම නෑ හිත හිතු මතේ සැරි සරනවා
මයෙ හිතේ ඔබ සිටින පැත්තට මහා වැස්සක් වහිනවා
කවුළුවෙන් විත් සීත සුළඟක් කුටිය ඇතුලට එබෙනවා
කෙහෙරැලක් මත නළලතේ ආදරෙන් සුසුමක් තියනවා
නැවතෙමින් යලි ඇවිදිමින් මුදු අකුරු තව පිරිමදිනවා
අවදියෙන් නිදි නැතුව තාමත් මගේ සඳ දුක් විඳිනවා
දුව ඇවිත් මල් සුවඳ ඉස්සර ආයෙමත් හිත ඉඹිනවා
සිහිනෙකින් මෙන් මතකපොත පෙර මතකයන් දිග හැරෙනවා
උණුහුමින් ඔබ උන්නු තැන හද මොහොතකට සුව ලැබෙනවා
අද නැතත් හෙට දකින්නට ඔබ දෑස මේ මග බලනවා
පරවුනත් මල් සුවඳ එලෙසින් තාම ගසමුල තියෙනවා
නැලවුනත් සුළගින් ළදල්ලක් කඳුළු පිණි බිම වැටෙනවා
සැනසෙමින් මම කොහොම ඉන්නද එකම පැනයක් තියෙනවා
කකියමින් හද ගැඹුර තාමත් එදා වාගේම රිදෙනවා.
(පින්තුරය අන්තර්ජාලයෙනි)
Tuesday, February 11, 2020
125. ඔබ තුටින් නම් මට ඉතින් ඇති
සඳ කිනිත්තට කන්ද මුදුනෙන් පිපෙන හොඳටම හිනා වී
මග අරින්නට හැකිවෙලා වගෙ තරු ඇසක් ඉන් මුවා වී
ඇහැ ඇරෙන්නට නපුරු හීනෙන් දුටුව මෙතුවක් මුලා වී
තව ටිකක් කල් ඉතින් දෙනවද අනේ බිඳුවක් සමා වී
පිපි මලින් බර තුරු පියස්සෙන් සුවඳ හෙමිහිට හමා වී
හිස් අතින් සැරිසරන මා වෙත අපේ මතකය තියා වී
දුර අනන්තයටත් එහා ගිය සෙනෙහසින් සිත පෙලා වී
කැටයමක් වුනු එක රුවක් හුස්මක් හදේ සිර කරා වී
වන උයන් දොර පුංචි කැකුලක් සුසුමකින් ඉකි බිදී වී
හිත පුරා පෙම් කල වසන්තෙට නොයන්නැයි ගතු කියා වී
නැවතුමක් එක නොනිමි සසරක ජීවිතේ නම් දරා වී
පිනි බිඳක් සේ බිඳී මියයන නැගෙන විට හිරු උදාවී
සුබ පැතුම් පොදි සහසකින් හෙට ඔබට ආසිරි සදා වී
ඔබ තුටින් බව සමහරක් විට මා හටත් විත් කියා වී
හිමි නොවෙන්නට හමු වුනත් සිත් සෙනෙහසින් බෝ පමා වී
ඔබ තුටින් නම් මට ඉතින් ඇති යාවි මේ දුක් නිමා වී.
(පින්තුරය අන්තර්ජාලයෙනි)
Monday, February 3, 2020
124. සෙනෙහෙ නොමියෙන
එකට විත් පොඩි කුරුළු යුවලක් අදට සමුගන්නට හදයි
දුරක වන් හුදෙකලා තරුවක් සඳට හෙමිහිට අත වනයි
ලඟට ගෙන අපෙ බිඳුණු මතකය කවියකට සිත මුල පුරයි
බරට මිදුනත් සුසුම් කොතෙකුත් හිතේ බර තව එලෙසමයි
අහිමි සඳකට හඬන සිත මුතු කඳුළු කැට නෙත ඇහැරවයි
දැකුම වුව මොහොතකට සිහිනෙන් ගෙනෙන සැනසුම අපමණයි
පිහිට වුන පෙති මිලින මලකට කුළුණු සිත පින් සුවදමයි
සමග එමි මතු සසරෙ පසුපස සෙනෙහෙ නොමියෙන එහෙමමයි
මලක සුවඳක් ලෙසින් ඇවිදින් හිතේ නොකියම පැටලුන
වැටෙන හුස්මක් වගේ මොහොතක් නොහැර සෙනෙහෙට නතුවුන
මදිව පින් ගිය ගමන මගකදි නතරවෙන්නට සිදු වුන
අපම පමණක් නොවේ තව අය සිටී පැරදුම හිමි වුන.
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
Subscribe to:
Posts (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.









