Thursday, January 13, 2022

189. මට පුදුම
















හිටි ගමන් චැට් එකේ ඩොට් තුනක් එවන එක 
ඊට පසු විරිත්තා ‘නෑ නිකන්’ කියන එක 
එහෙම දවසට රෑට හීනෙනුත් පේන එක 
මට පුදුම අපෙ පිස්සු තාම හොඳ නූන එක 

එක නගරෙ අත දුරින් අපි දෙන්න ඉන්න එක 
ඒ උනත් හමුවෙලා මොකටදැයි සිතෙන එක 
ඉබේ දකිතැයි සිතා ලස්සනට අඳින එක 
මට පුදුම අපිට අපි තාම හමු නූන එක 

හිමකිරම දුටු මතින් සිනාවක් නැගෙන එක 
ඔයා ආසම සිංදු විතරක්ම අහන එක 
හැමදාම දොයියන්න කලින් හඳ බලන එක 
මට පුදුම අපෙ මතක තාම නැති නූන එක 

ඉඳහිටෙක මල් අතර ඔය මූණ පෙනෙන එක 
දුර ඉන්න තරු එකම ළඟ ඉඳන් දිලෙන එක 
මතක් වී විදුලියක් හිත මැදින් කෙටෙන එක 
මට පුදුම අපි අපෙන් තාම වෙන් නූන එක!



5 comments:

සේපාලිකා මල් වෙත පැමිණි ඔබව සාදරෙන් පිලිගන්නවා. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්න. ඒ නැතත් පැමිණිමම සතුටක්. බොහෝ තුති.