Friday, September 3, 2021

175. කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ - XIV

 කුරුටු පුවාක් පුවාක්

කුරුටු පුවාක් පුවාක් පුවාක් - දොරකඩ ගහේ පුවාක් පුවාක් - මට විටකට නුදුන් පුවාක් - කොරවක්කෝ කෝ ...? කියා ඉස්සර අපේ ආච්චම්මා අපිව ඔඩොක්කුවේ දමාගෙන සුරතල් කරමින් කී මේ කවිය මා මතක් කර ගත්තේ මේ සටහන ලිවීමටමය. ඉස්සර මෙන් නොව දෙයක් කී පමණින් එලෙසින්ම මතකයේ රැඳෙන මේ සමනල් වයසේ එය මුළුමනින් මතක් කර ගැනීම ඒ හැටි අමාරු කාරියක් නොවූ අතර ඊට වැය වූයේ සති දෙකකටත් වඩා අඩු කාලයකි. කුඩා කල මිහිරි මතකය අවදි කල කවියත් ඒ සමගම පුවක් ගස් මන්ඩියෙන් ඇසුණු මේ කුරුටු පුවක් සංගීතයත් හදිසියේ මතක් වූයේ කොරෝනා නිවාඩු කාලයේ එය ලියා සංගීතවත් කර තමා විසින්ම ගායනා කල සංගීත ශිල්පියා දිනපතා සවස නිවසේ සිට වෙල දක්වා කල ට්‍රැවල් විත් ඩෝටර් සංචාරය අතරතුරදී අපට යලි දකින්නට ලැබීමෙනි. වසර බර ගණනාවකට පසුව සිදු වූ මෙම අහඹු හමුවේදී පෙර දිනයක ඔහුට පෙම්කල යුවතිය අද දිනයේ සිය දියණියද සමග පැමිණ ඔහු දෙස විරිත්තාගෙන සිටිනු දැකීමෙන් ඇති වූ මහත් සබකෝල ගතිය නිසා ගායකයා වහා පලා ගියද පෙර මතක ඇවිස්සීමෙන් ලද උදාමයෙන් පසු නොබට අප කටහඬ ඔස්සේ හොරා පොළිස් ගමනේ ගොස්  එයාද, එයාගේ සහ පිරිවරද ඉන් නොනැවතී වෙල ඉස්මත්තේ අටවා තිබු එයාගේ වාස භාවනද දැක ගැනීමට තරම් වාසනාවන්ත වීමු.



කුරුටු පුවාක් යයි කිව්වාට මෙයාගේ ඇත්ත නම කොරවක්කාය. නම පොඩ්ඩක් කැත වුවත් කොරවක්කා ඇත්තටම ලස්සන කුරුල්ලෙකි. මුහුණට මුහුණ හම්බ වූ විට පෙනෙන මුහුණේ සුදු පැහැයත් බඩ පැත්තේ සුදු පැහැයත් නිසා අප කුඩා කාලයේ සුදු බණ්ඩේ කියා සුරතල් නමක් දමා තිබු නිතර අපගේ කන්කුන් ගාලට පැමිණි කොරවක්කෙකු සිටියා මතකය. (ඒ කාලේ නංගීත් සමග සුදු බණ්ඩේ බලන්නට යද්දී මේ සින්දුවද කිව්වා මතකය.) ඇඟේ ප්‍රමාණය හා බැලුව විට කහ පාට කකුල් දෙක තරමක් දිග වැඩි යැයි හැඟුනද වත්තේ ඇවිදින වේගයෙන්ම මඩ වලවල් වලද එරෙමින් ඇවිදීමට තම දිග කකුල් දෙක මේ කුරුටු පුවක්ලාට නැතිවම බැරිය. කොරෝනා ලොක් ඩවුන් සමයේ නොමිලේ දෙනවැයි කියූ බඩු මල්ල ලැබෙන තෙක් බලාසිට එයද නොලැබී බඩගින්දරේ පසුවන දුප්පතෙක් ඇසට හසුවන හැම තැනම විපරම් කර කෑමට යමක් සොයන්නා සේ යන යන හැමතැනම කොටමින් සිය බඩ පුරවා ගැනීමටම මහන්සි වන මේ අය මෙවර නම් වැඩිපුරම දක්නට ලැබුනේ වෙල ඉස්මත්තේ ඇති මඩ වලවල් පිරි වගුර ආසන්නයේය. අවුරුදු ළංවී එනවිට නම් ගොයම් කපා පෑගී අවසන්ව තිබූ නිසා හිතේ හැටියට වෙලේ ලියදි අතර සරමින් සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගත් මේ කුරුටු පුවක්ලා ඉතා සතුටින් සිටි බව සිහි වන්නේ හැන්දෑ වේගෙන එන විට නොනවත්වා ඇසුණු සංගීත නාදය සිහි වන විටදීය. වසන්ත කාලෙට සුරංගනාවන් අනත්තවත් එන බව සනාත කරමින් (සමහරු නම් කියන්නේ වසන්ත කාලෙට සුරංග නාවත් අවන්ත වත් ඒවි.. යනුවෙනි ) වතුරේ දඟලන ඉස්ගෙඩි ඇතුළු කුඩා මාළු බුරුතු පිටින් අල්ලා ගිල දැමීමෙහි නිරතව සිටින මේ කුරුටු පුවක් ලා දැකීම මහත් සතුටක් වුවත් ඒ හා සමානවම සෝක උපදවන කරුණ නම් අප කිසිවෙකු එනු දුටු වහාම අධි වේගයෙන් දිවගොස් කොහේ හෝ සැඟවෙන්නට මෙයාලා කටයුතු කිරීමයි. නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංගනය කරමින් පාර මැද ක්‍රිකට් ගස ගසා සිට පොලිස් මාමලා එනවිට වාෂ්ප වන කොලු කුරුට්ටන් මෙන් මෙසේ දිව ගොස් සැඟවීමට තරම් මෙවුන් අප කෙරේ දක්වන මේ අනියත බිය කුමක්දැයි අපට නම් නොතේරේ. වෙල් පැත්තේ යන විටදී වෙල මැද ඇති දිය බුබුල වටකර බැඳ ඇති ලිඳේ සිටින මත්ස්‍ය සමූහයා වෙනුවෙන් අප රැගෙන යන බත් වලින් අහුරු කීපයක් එදෙසට විසි කර හැර ගිය අය නැවත ගෙන්වා ගැනීමට සිතා වශී ගුරුකමක් කලද බත් ඇටයක් සඳහා ජීවිත අවදානමක් ගැනීමට තරම් බොළඳ නොවූ කුරුටු පුවක්ලා එය තඹේකට මායිම් කලේ නැත.      

අනෙත් කරුණ නම් සුදු බණ්ඩේ හෙවත් කුරුටු පුවක් බිම තබා යන අඩියක් අඩියක් පාසා පස්ස පැත්තේ පෙඳය ඉස්සීමයි. කද්දී බොද්දී ඇවිදිද්දී දුවද්දී ඉගිලෙද්දී යන මෙකී නොකී කොයි අවස්ථාවේදී වුවත් ඉස්සී ගන්නා මෙම පෙඳය අපට කුඩා කාලයේ මහත් විනෝදය ගෙන දෙන්නක් වූවකි. දැන් තරම් සබකෝල ගතියක් නොපෙන්වුනු ඒ කාලයේ සුදු බණ්ඩේ ප්‍රමුඛ කුරුටු පුවක් ලා අපේ වත්තට නිතර ආ ගිය අයවලුන් වූ අතර එසේ පෙඳය ඉස්සෙන්නේ බිත්තර දැමීමට යැයිද පස්සෙන් ගොස් කොරවක් බිත්තර අහුලා ගෙන එන්නැයිද කියමින් අසල නිවසේ සිඟිත්තා ඇන්දවූ හාස්‍යජනක අවස්ථාද මතකයේ වේ. හොරා පොළිස් ගමනේ ගොස් සොයාගත් පරිදි මෙයාලා රෑට නිදාගන්නේ වගුර අසල පඳුරු වල වන අතර බිත්තර දැමීමට වෙල අයිනේ ගොයම් පඳුරක් එක්කාසු කරගෙන සකස් කරගත් කුඩුවක්ද දැකිය හැකි විය. බිත්තර කුඩුවේ තිබෙනු දුටු දවසේ පටන් දිනපතාම එහි ගොස් කුරුටු පුවක් අම්මා එහෙ මෙහෙ වනතුරු සිට පැටවුන් බිහි වී ඇත්දැයි බැලූ නමුත් දිනපතා මඩේ බැසීම නිසා හදිසි අනතුරකින් මඳක් තුවාල වී තිබු මගේ කකුලේ ඇඟිල්ලක නියපොත්ත පැසවීම විනා බිත්තර බිඳෙන පාටක් පෙනුනේ නැත. බිත්තරයක් බිඳී කුරුටු පුවක් පැටියෙකු ඉපදෙනතුරු ගමේ සිට මිස නැවත කොළඹ යාමට බැරි යයි කියා සිංහනාද කල පොඩි ලලනාවිය අස්වැසීම පිණිස අන්තර්ජාලය දෙවනත් කර ලබාගත් කළු පාට බෝල බෝල කුරුටු පුවක් පැටවුන් දෙස බලා සිටිද්දී මටද මහත් ආදරයක් ඇති වී එයින් එක්කෙනෙකු හැබැහින් දැක ගැනීමේ දොළදුකක් පහල වුවද තවමත් එය නොසන්සිදුණු ආසාවක් ලෙස පවතින්නේ ඊට පසුදින පැමිණ අපේ ඉල්ලීමට සවන් දීමෙන් පසු වෙල් ඉස්මත්තේ සිටි කුරුටු පුවක්ලාටද ඇසෙන්නට තරම් උච්ච ස්වරයෙන් ටීකා දෙක තුනක් කියා අපිව බලහත්කාරයෙන් මෙහි දක්කාගෙන ඒමට තරම් අපගේ භාරකාරීත්වය අකාරුණික වූ බැවිනි. 

කලින් කොරෝනා මිතුරන් ලිපි පෙළ ලියා අවසන් කර බොහෝ කල් ගත වුවද මිතුරන් ගැන ලිවීම තබා සිංහල අවුරුද්දට ගමේ ගොස් එන විට කොළඹ ගෙනා GB 15ක 20 ක පමණ මල්ද කුරුල්ලන්ද සමනලයන්ද දෙස ඇහැක් ඇර බැලීමට තරම් වත් වෙලාවක් නොතිබුනේ පසුගිය සමයේ පවතී අධික වැඩ තද බදය නිසයි. එම තත්වය දැන් මඳක් පහව ගොස් ඇති නිසාද කෝකටත් මූලික වන මේ චිත්ත සන්තානයට කුමක්ම හෝ අකරතැබ්බයක් වී ගෙන එන බව තේරෙනවා නම් පිහිට පතා වහා ඇමතීමට එම්ප්ලෝයී වෙල්බීන්ග් හොට්ලයින් සේවාවක් දැන් අප වෙත සපයා තිබෙන නිසාද ඊයේ සිට නැවත ලිවීම ආරම්භ කරන්නට සිතුනි. එයද කුරුටු පුවක්ලා ගෙනි. එබැවින් මෙසේ පටන් ගත් ලිවීම ඉදිරියටත් සිද්ද වෙනවා නම් හෝ මෙතැනින්ම නැවතීමේ තිත තැබෙනවානම් එය සිදු වන්නේ ලිවීමේ නැකතට මුල් වූ පක්ෂියාගේ ගුණ දොස් අනුව මිස මගේ කම්මැලිකම අනුව නොවන බව දන්වනු කැමැත්තෙමි. අනාගතය කෙසේ  වෙතත් කවියෙන්ම පටන් ගෙන කවියෙන්ම අහවර වන ලස්සන අවසානයක් ලියමින් පවතින මෙයට ලබා දීමට අවශ්‍ය වූ නිසා නැවත වතාවක් ප්‍රාථමික මතකය අවදි කර සිංහල කියවීම් පොතේ තිබූ කවි පන්තියක් මතක් කර ගතිමි. එහි කියවෙන්නේ අතීතයේ පුවක් මුදලාලි කෙනෙකු වූ කුරුටු පුවක් සංගීත කාරයෙකු වීමට මග පෑදුණු කතා පුවත වන අතර මෙය කියවන ඔබගේ පහන් සංවේගය උදෙසා එය පහතින් පල කරමින් සටහන නිමා කරමි. ගීයට හිත බැඳී හද බැඳි සියලු දෙනා ‘මැණිකේ මගේ හිතේ’ ඇසීමෙන් නොනැවතී අපට අමතකට ගිය අපේ කුරුටු පුවක්ලාගේ කුරුටු පුවාක් පුවාක් ගීයද අසත්වා!



(ප. ලි. බොහොමයක් කවි මතකයේ තිබුනද මුල් පේළිය අමතකව තිබූ නිසා මොලයට දස වද දී මහත් වැර වෑයමින් එය මතක් කරගෙන නිකමට මෙන් ගූගල් දේවතාවා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පෙළ පොතේ තිබු පිටු තුන එලෙසින්ම මට ලැබිණ. මෙහි සඳහන් මුල්ම කුරුටු පුවක් පුවක් පින්තුරයද බිත්තරද කුරුටු පුවක් ගීතයද හැර ඉතිරි සියල්ල අන්තර්ජාලයෙන් ලබා ගත් පින්තූර වේ.)

No comments:

Post a Comment

සේපාලිකා මල් වෙත පැමිණි ඔබව සාදරෙන් පිලිගන්නවා. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්න. ඒ නැතත් පැමිණිමම සතුටක්. බොහෝ තුති.